පද්ධති සංවර්ධන ජීවන චක්‍රය

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
පද්ධති සංවර්ධන ජීවන චක්‍රය (System Development Life Cycle)
පවත්නා තොරතුරු පද්ධතිය වෙනුවට නව තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේ සමස්ථ ක්‍රියාවලියපද්ධති සැලසුම් ජීවන චක්‍රයලෙස හැදින්වේ.
මෙම කාර්යය සදහා පහත දැක්වෙන කණ්ඩායම සහභාගී වේ.
  1.     පද්ධති විශ්ලේෂකයින්( System Analysts) – නව පද්ධතිය නිර්මාණය කිරීමේ මුලික වගකීම දරන්නේ මොවුන්ය.
  2.      පරිගණක ක්‍රම ලේඛකයන් (Computer Programmers) – පද්ධති විශ්ලේෂකයින් විසින් සකසනු ලබන නව පද්ධතිය පරිගණක මෘදුකාංග (software) බවට පත් කිරීමේ වගකීම මොවුන් සතුය.
  3. .     විවිධ කාර්යයන් සදහා සහභාගී වන ව්‍යාපෘති කණ්ඩායම (Project Team)

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
  1. ගැටළුව හදුනා ගැනීම / ගැටළුවේ අර්ථ නිරූපණය (System Definition)
  2. ශක්‍යතා අධ්‍යයනය (Feasibility Study)
  3. පද්ධති විශ්ලේශණය (System Analysis)
  4. පද්ධති සැලසුම්කරණය (System Design)
  5. කේතනය කිරීම (Coding)
  6. පද්ධති පරීක්ෂාව (Testing)
  7. පද්ධති ක්‍රියාත්මක කිරීම (System Implementation)
  8. පද්ධති නඩත්තුව (System Maintenance)

ගැටළුව හදුනා ගැනීම / ගැටළුවේ අර්ථ නිරූපණය
මෙම පිය‍වරේදී පද්ධති විශ්ලේශකයා විසින් නව තොරතුර පද්ධතියක් සංවර්ධනය කරනවාද, නැද්ද යන්න තීරණය කරනු ලබයි. පහත දැක්වෙන අවශ්‍යතා මත මෙම පියවර ආරම්භ වේ.
  • පවතින පද්ධතිය නවීකරණය කල යුතු වීම
  • පවතින පද්ධතිය අළුත්වැඩියා කළ යුතු වීම
  • නව පද්ධතියක අවශ්‍යතාවය
මෙම අවශ්‍යතා හදුනාගනු ලබන්නේ පරිශීලකයා විසිනි.  මෙහිදී පද්ධති විශ්ලේශකයා විසින් ගැටළුව හදුනාගනු ලබන අතර ඒ සදහා විසදුම් යෝජනා පිළිබද ලියවිල්ලක් සකස් කරයි. මෙම කාර්යය සදහා මොහුට ගැටළුව පිළිබද තොරතුරු එක් රැස් කිරීමට සිදුවේ.
තොරතුරු රැස් කිරීමේ ක්‍රම වේදයන්
  • ගැටළුවේ පසුබිම අධ්‍යයයනය කිරීම. (Background reading)
  • සම්මුඛ සාකච්චා (Interviews)
  • ප්‍රශ්ණාවලි (Questionnaires)
  • ලියකියවිලි විශ්ලේෂණය කිරීම (Analyzing documents)
  • නිරීක්ෂණ (Observations)
  • ගැටළුව අධ්‍යයයනය කිරීමේ යෙදෙන කණ්ඩායමේ දැනුම සහ පලපුරුද්ද (Knowledge & Experience of the project team)
ශක්‍යතා අධ්‍යයනය
ගැටළු හදුනා ගැනීමෙන් අනතුරුව, ඒ සදහා සංකල්පීය විසදුම් ඉදිරිපත් කෙරේ. එම විසදුම් වෙනුවෙන්  ශක්‍යතා වාර්ථාවක් සකස් කරනු ලැබේ.
මෙහිදී දැරීමට සිදුවන පිරිවැය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබද විශ්ලේශණයක් සිදුකෙරේ. මේ සදහා පහත් දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.
  • තාක්ෂණික ශක්‍යතාවය (Technical Feasibility)
  • මෙහෙයුම් ශක්‍යතාවය (Operational Feasibility)
  • ආර්ථික ශක්‍යතාවය (Economic Feasibility)(
පද්ධති විශ්ලේශණය
මෙම පියවරේදී පද්ධති විශ්ලේශකයා විසින් වඩාත් ගැඹුරින් පවතින පද්ධතිය අධ්‍යයනය කරනු ලැබේ. මෙහිදී ගැටළුවේ ස්වභාවය, එය‍ට හේතු, විසදුම් ඉදිරිපත් කිරීම ආදිය සිදුවේ. තවද පරිශීලක අවශ්‍යතා ද මෙහි දී තීරණය කෙරේ.


පද්ධති සැලසුම්කරණය හා වැඩිදියුණු කිරීම/ කේතනය කිරීම
සැලසුම්කරණය
මෙම පියවරේදී පද්ධති විශ්ලේශකයා විසින් නව පද්ධතියේ ක්‍රියා කාරිත්වය ඉදිරිපත් කරනු ලැබේ. නව පද්ධතියේ සිදු විය යුතු කාර්යයන් මොනවාද, එම කාර්යයන් ඉටු කරගන්නා ආකාරය සැලසුම් කිරීම සිදු කෙරේ. මෙහිදී ගැලීම් සටහන්ආදිය භාවිතා වේ.
කේතනය කිරීම
පද්ධති සැලසුම්කරණයෙන් පසු සම්පූර්ණ පද්ධතියම පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට පරිගනක මෘදුකාංගයක් බවට පරිවර්තනය කිරීම කේතනය” (Coding) නමින් හැදින්වේ. මේ සදහා මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සහ පරිගණක ක්‍රම ලේඛණ ශිල්පීන්ගේ  සහය ලබා ගැනීමට සිදුවේ
පද්ධති පරීක්‍ෂාව
වැඩිදියුණු කරන ලද පද්ධතිය මෙහෙයුම් (Operations) සඳහා ක‍්‍රියාවේ යෙදවීමට මත්තෙන් එහි ඇති දෝෂ (Bugs) ඉවත් කිරීම සඳහා පරීක්ෂණ  ධාවනයක් (Test Run)අවශ්‍යෙව්. මෙහිදී මෙම පද්ධතිය පරීක්ෂා කිරීමට සැබෑ දත්ත වලට සමාන දත්ත ආදානය කර ධාවනය කරනු ලැබේ. දෝෂ හමුවුව හොත් එම දෝෂ නිරාකරණය කෙරේ.
පද්ධති ක්‍රියාත්මක කිරීම
මෙම පියවරේ දී නව පද්ධතිය කොටස් වශයෙන් ක්‍රියාත්මක කර පසුව සියළුම කොටස් ක්‍රියාත්මක කිරීම සිදුවේ.  මෙහිදී මෙය ක්‍රම දෙකකට සිදුකළ හැකිය.
  1. සෘජු ක්‍රියාත්මක කරණය
  2. සමාන්තර ක්‍රියාත්මක කරණය
අවසානයේදී නව පද්ධතිය ව්‍යාපාරයේ භාවිතය සදහා ස්ථාපනය කිරීම සිදුවේ.
පද්ධති නඩත්තුව
පද්ධතිය පුණරීක්ෂණය කිරීම
මෙම පියවරේදී ප්‍රථමයෙන්ම සිදුවන්නේ නව පද්ධතිය පුණරීක්ෂන කිරීමයි. මෙම කාර්යය පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් වර්ෂයකට පමණ පසුව සිදුකල හැකිය.මෙහිදී නව පද්ධතියේ අරමුණු සාක්ෂාත් වීද, යන්න පරීක්ෂා කරනු ලැබේ. මෙහිදී පද්ධතියෙන් ලැබූ  ප්‍රතිලාභ පිළිබදව ඇගයීමක් කරනු ලැබේ. අපේක්ෂිත ප්‍රතිලාභ ප්‍රමාණවත් ව නොලැබී නම් ඒ පිළිබදව පරීක්ෂා කිරීමට මෙහිදී සිදුවේ.
පද්ධතිය නඩත්තු කිරීම
පද්ධති නඩත්තුව හේතු 03ක් නිසා සිදුකල යුතුය.
I.            පද්ධති පරීක්ෂාවේදී හමු නොවූ දොෂ හමුවූ විම.
II.            නව අංග පද්ධතියට ඇතුළු කිරීමට අවශ්‍ය වූ විම.
III.            පරිශීලක අවශ්‍යතා වෙනස් වීම.
නමුත් විශාල වෙනසක් කිරීමට සිදුවුව හොත් නව පද්ධතියක් සකස් කිරීම සදහා නව ව්‍යාපෘතියක් ආරම්භ කල යුතුය.


6 comments: